29/04/2020
For all Dental Patients.... Think again and again before requesting treatment
මට දන්ත වෛද්‍යවරයා හමුවිය හැකිද?
කොරෝනා වෛරසයේ ආසාදනය ලොව පුරා පැතිරීමත් සමගින් බොහෝ රටවල සෞඛ්‍ය සේවාවන් සඳහා පාලනයක් ඇතිකරන ලදී. දන්ත වෛද්‍ය සේවාවන් අක්‍ෂි වෛද්‍ය සේවාවන් සහ උගුර කණ නාසය පිළිබද සේවාවන්හට ප්‍රධාන වශයෙන්ම බලපෑම් සිදුවිය. ඒ අනුව ඔබට දන්ත වෛද්‍යවරයා හමුවීමේදී කිසියම් පාලනයකට යටත් වීමට සිදුව ඇත. ලොවපුරා මෙන්ම ශ්‍රී ලංකාවේදීත් දන්ත වෛද්‍යවරුන්හට සිදුකලහැකි ප්‍රතිකාර වර්ග සීමාකිරීමක් සිදුව ඇත.
දන්ත ප්‍රතිකාර සීමාවන්නේ ඇයි?
දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී සිදුකරන යාන්ත්‍රික කටයුතු මගින් ඉතා කුඩා කෙළබිඳිති වාතයට එකතුවීමක් සිදුවේ. මෙම කෙළබිදිති වල රුධිරය කුඩා අංශු පවා අඩංගු විය හැකිය. දත් පිරවීම සදහා දත සකස් කිරීමේදීත් දත් සුද්ද කිරීම සිදුකිරීමේදීත් මේවා වැඩිවශයෙන් එකතු වීම සිදුවේ.
සමාන්‍ය අවස්ථාවන් වලදී පවා මෙම කෙළබිදිති මගින් සිදුවන රෝග පැතිරීම් වළක්වාගැනීම සදහා දන්ත වෛද්‍ය සායනවල විවිධ ආරක්‍ෂණ උපක්‍රම අනුගමනය කරනු ලැබේ. එනම් මුඛ අවරණ පැළදීම සහ අත් ආවරණ පැළදීමත් අනුමත විෂබීජනාශක ක්‍රම මගින් භාවිතා කරන උපකරණ සහ සායනය පිරිසිදු කිරීම සිදුකරනු ලැබේ. මේ මගින් වෛද්‍යවරයා සහ රෝගියා යන දෙපිරිසේම ආරක්‍ෂාව සහතික කරනු ලැබේ.
නමුත් කොරෝනා ආසාදනය පැතිරයාමත් සමඟ මෙවන් කෙළබිදිති මගින් වෛරසය ඉතා විශාල වශයෙන් වායුගෝලයට මුදාහරින බැවින් රෝගීන්, වෛද්‍යවරයා මෙන්ම කාර්ය මණ්ඩලයත් සෘජුවම කොරෝනා වෛරසය සඳහා නිරාවරණය වීම සිදුවේ. එසේම එම කෙළ බිදිති මගින් ගමන්කරන වෛරසය සායනයේ සහ අවට පෘෂ්ඨ මත රැදී තිබීමෙන් තවත් බොහෝ පුද්ගලයන් පිරිසක් වෛරසයට නිරාවරණය විය හැකිය. කොරෝනා වෛරසය සිරුර තුල පවතින නමුත් රෝගී ලක්‍ෂණ නොපෙන්වන රෝගීන් විශාල පිරිසක් ඇති හෙයින් මෙම තත්ත්වය වඩාත් භයානක වේ.
මට දතක් පුරවාගැනීමට හැකි වේද?
අත්‍යාවශ්‍ය නොවන දන්ත ප්‍රතිකාර කල් දැමීමට සිදුව ඇත. ඒ යටතේ සාමාන්‍ය දන්ත පරීක්‍ෂාවන් සිදු කිරීම, සහ වේදනාවක් හෝ සැරව හෝ ලේ ගැලීම් නොමැති දත් පිරවීම් සහ රූපලාවන්‍ය කටයුතු වලට අදාලවන දත් සුදුපැහැගැන්වීම වැනි ප්‍රතිකාර කල් දැමීමට සිදුවනු ඇත.
අත්‍යාවශ්‍ය නොවන ප්‍රතිකාර ලෙස පහත් සදහන් අවස්ථා වලදී ප්‍රතිකාර පසු දිනයකට කල් දැමීම සිදුවිය හැකි ය.
■ දත් ගැලවීම (වේදනාවක් හෝ ඉදිමුමක් නොමැති අවස්ථා වලදී)
■ කැඩීගිය දත් පිරවීම (කලකට පෙර දත කැඩී ඇති අවස්ථා සහ වේදනාවක් හෝ ලේගැලීමක් නොමැති අවස්ථා වලදී)
■ විදුරුමස් දියවීම සහ විදුරුමස් වලින් ලේ ගැලීම
■ කටින් දුඟදක් නිකුත් වීම
■ දත් සෙලවීම (වේදනාකාරී නොවන විට)
■ කෘතිම දත් දැමීම සහ ඒවාට සිදුකළයුතු වෙනස්කම්
■ දත් සුද්ද කිරීම සහ සුදුකිරීම
ඉහත සදහන් අවස්ථාවන් හැර අත්‍යාවශ්‍ය වන දන්ත ප්‍රතිකාර සිදුකිරීම රජයේ සහ පෞද්ගලික දන්තසායන වලදී සිදුවේ. එසේ වුවත් එම අවස්ථාවලදී කොරෝනා වෛරසය පැතිරීමේ දැඩි අවධානමක් ඇතිබව පැහැදිලිව දැනගත යුතුවේ.
පහත සදහන් අවස්ථාවන් හදිසි ප්‍රතිකාර සහ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර ලෙස සැලකිය හැකි ය.
■ දතක් හදිසියේ කැඩීයාම හෝ ස්නායු දක්වා පැතිරීගිය දත් දිරායාමක් නිසා ඇතිවන අධික වේදනාවක් ඇති විටකදී දත ගැලවීම හෝ ස්නායු පිරවුමක් සිදුකළ හැකි ය.
■ ඉදිරිපස දතක් හදිසියේ කැඩී ගියහොත් (උදා- අනතුරක් හේතුවෙන්) එම දත නැවත පිරවීමක් සිදුකළ හැකි ය.
■ කටේ සහ විදුරුමස්වල ඇති විය හැකි වේදනාකාරී තුවාල වලට ප්‍රතිකාර කිරීම
■ නොනවත්වා සිදුවන ලේගැලීම් සදහා
■ මුඛ පිළිකා හෝ එවන් සැකකටයුතු අවස්ථා වලදී
■ පෙර කරන ලද සැත්කමක පසු ප්‍රතිකාර අවශ්‍ය අවස්ථා වලදී
■ හුස්ම ගැනීමට බාධාවන අනතුරු ඇති විටදී
■ දත්වලට කම්බි යොදා සිදුකරන ලද ප්‍රතිකාර වලදී වේදනාකාරී අවස්ථා ඇති වුවහොත් ඒවාට වෙනස්කම් සිදුකිරීම
මා හට දන්ත සායනයට යාමට හැකි වේද?
මේ කුමන අවස්ථාවකදී වුවත් ඔබට යාමට අවශ්‍ය සායනය හෝ වෛද්‍යවරයා දුරකථනය මගින් සම්බන්ධ කරගැනීම මුලින්ම සිදුකිරීම වැදගත්වේ. එවිට ඔබගේ රෝග තත්වය විමසා බලා ඔබට දුරකථනයෙන් ලබාදිය හැකි ප්‍රතිකාර හෝ උපදෙස් ලැබෙනු ඇත. එසේම ඔබට සායනයට පැමිණීමට අවශ්‍ය නම් ඒ සදහා වේලාවක් ලබාදීමද සිදුවනු ඇත.
දන්ත සායනය ආරක්‍ෂාකාරී වේ ද?
ඔබ නිවසින් පිටවන ඕනෑම මොහොතක ඔබ කොරෝනා වෛරසයට නිරාවරණය වීමේ අවධානම පවතී. නමුත් ඔබේ ආරක්‍ෂාව වෙනුවෙන් පහත සදහන් පියවරවල් දන්ත සායනය මගින් ගනු ලැබේ.
■ සාමාන්‍ය තත්ව යටතේ සිදුවූ සියලු ආරක්‍ෂිත පියවරයන් එලෙසම ක්‍රියාත්මක වනු ඇත. එනම් වෛද්‍යවරයා සහ කාර්ය මණ්ඩලය නිවැරදි ලෙස අත් සේදීම සහ අත්වැසුම් සහ අනෙකුත් ආරක්‍ෂක ඇදුම් පැලදුම් නිසිලෙස පැලදීම සිදුවේ
■ එසේම භාවිතා කරන උපකරණ නිසි ලෙස විෂබීජ හරණයට ලක්කරනු ඇත. කිසිම අවස්ථාවක බෙහෙත් විදීමට භාවිතාකරන ලද කටු ආදිය නැවත භාවිතා කරනු නොලැබේ.
■ මෙයට අමතරව ඔබට සායනයට ඇතුල් වීමට නියමිත වේලාවක් ලබාදෙනු ඇත.
■ කුඩා දරුවෙකු සඳහා නොවේ නම් සායනයට රෝගියා පමණක් ඇතුලුකරගැනීම සිදුවනු ඇත. දරුවා සමඟ වුවද එක් භාරකරුවෙකු පමණක් සායනය තුලට යොමුකරවනු ඇත.
■ බොහෝදුරට සායනය තුල එක් අවස්ථාවකදී එක් රෝගියකු පමණක් සිටින ලෙස රෝගීන් සදහා වේලාවන් වෙන්කිරීම සිදුකරනු ඇත.
■ එසේම සායනයට ඇතුල් වීමට ප්‍රථම ඔබට අත් සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයෙනු ඇත.
■ සායනයට ඇතුලුවීමට ප්‍රථම ඔබගේ සිරුරේ උෂ්ණත්වය පරීක්‍ෂාකරනු ලැබේ.
■ එසේම කොරෝනා වෛරසය පැතිරීමට අදාලවන ප්‍රශ්ණ කිහිපයක් ඔබෙන් අසනු ඇත. ඒ යටතේ ඔබගේ මෑත කාලීන ගමන්, ඔබ කොරෝනා ආසාදිතයකු හෝ ආසාදිතයැයි සැක සහිත කෙනෙකු ඇසුරු කාද යන බව මෙන්ම ඔබට ඇතිවිය හැකි ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්‍ෂණ එනම් කැස්ස, උගුරේ වෙදනාව වැනි දැ පිළිබඳව විමසනු ඇත.
මට කොරෝනා ආසාධිත යැයි සැකයක් ඇත් නම් හෝ මා කොරෝනා නිරෝධායනයක් සිදුකර පැමිණි අයෙක් නම් කුමක් කළ යුතුද?
දැනට ඔබට ඇති රෝග තත්ත්වයන් හෝ ඔබට කොරෝනා ආසාදිත වේ යැයි ආදාල වන සියලු තොරතුරු නොසඟවා ඉදිරිපත් කිරීම සිදු කළ යුතුය. එවිට විශේෂ පරිසරයක් යටතේ ඔබට අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීමත් ඔබට නිසි පරිදි අවශ්‍ය වෛද්‍යවරුන් කරා යොමුකිරීමත් සිදුවනු ඇත.
මා නිවසේදී කුමක් කළ යුතුද?
කොරෝනා සමග අපට තවත් බොහෝ කලක් මේ ආකාරයේන් ජීවත් වීමට සිදුවනු ඇත. එම නිසා දන්ත ආබාධ සහ රෝගයන් හට ගැනීමට ප්‍රථම මනා ලෙස මුඛ සෞඛ්‍ය පුරුදු පවත්වාගැනීමෙන් දන්ත රෝග වළක්වාගැනීම ඉතා වැදගත් වේ.
--- Team Cayo Health -----